අයින්ස්ටයින් කිව්වා කාලය සාපේක්ෂයි කියලා. ඔහුගේ විශේෂ සාපේක්ෂතාවාදයේදී ඔහු කියනවා වෙනස් රාමු දෙකක ඉන්න දෙදෙනෙකුට සිදුවීමක වන වෙලාව ගැන(Simultaneity of an Incident) එකඟතාවයකට එන්න බැහැ කියලා. අග මුල නැති කතාවක් වගේද? සරල දෙයක් තියෙන්නේ, කාලය නිරීක්ෂකයාට සාපේක්ෂයි.
එතකොට දැන් ඔබලා අහලා තියෙනවාද දන් නැහැ මේ බුදුන් සමහර තැන් වල කියලා තියෙනවා දෙව් ලොව දවසක් කියන්නේ මෙලොව මහා විශාල කාලයක්, මෙන්න මෙච්චර දවස් ගානක් වගේ කියලා. මාත් මේ වගේ කියමන් ගැන එච්චරම උනන්දුවක් දැක්වූයේ නැහැ. දහම් කරුණු නෙවේ නේ. නමුත් මට පස්සේ කාලෙක එක පාරටම හිතුනා මේ කතා කරන්නේ කාලයේ සාපේක්ෂ බවක් ගැන නේද කියලා. නිරීක්ෂකයාට අනුව කාලයේ වෙන වෙනස්වීම ගැන බුදුන් කියලා තියෙනවා. මෙතනදි නිරීක්ෂකයන් වුනේ දෙවියන් සහ මිනිසුන්. නිසැක ලෙසම ඔවුන් සිටින්නේ වෙනස් ප්‍රවේග වලින් ගමන් කරන රාමු දෙකක බවයි පෙනෙන්නේ.
කාලය යනු හුදෙක් වචනයක් පමණයි. හොඳින් හිතා බැලුවොත් එහෙම දෙයක් නැහැ. බුදුන් මෙම වචනය වත් සංකල්පය වත් බැහැර කර නැහැ. මොකද අපට යමක් පැහැදිලි කල හැක්කේ පවතින දේ ඔස්සේ ගොස් පමණයි. නමුත් කාලය යනු එතරම් වැදගත් දෙයක් ලෙස බුදුන් නොතැකූ බවයි, මගේ අදහස.
කොහොම වුනත් විශේෂ සාපේක්ෂතාවාදයේ එන සංකල්ප පිලිබඳ බුදුන් කලින්ම අදහස් දක්වා ඇති බවයි පෙනෙන්නේ, හැබැයි ඒ කාටත් තේරෙන විදිහට සරල අයුරින්.
දයාබරිය,
අපි ශුශ්ක වූ පරිච්චේද නැමති
කාන්තාර බිම්ද තරණය කල යුතුම වෙමු
මන්ද යත්
පූර්ණත්වය ඇත්තේ එබිම් අවසානයෙහිය
ශීත සෘතු දිනයන් බලා
අපේ හදවත් නැමති හිරු එළිය
සිනාසෙයි නම්
හදවත් මතුයෙහි මතු පිබිදෙන
වසන්ත කුසුම් ගැන
සැක කරන්න්නේ මන්ද?
-උපුටාගත් කවියකි, (කොහෙන්ද කියා මතක නැත )
ඊශ්‍රායලය කියන්නේ මහා පුදුමාකාර රටක්. මැද පෙරදිග තිබෙන එකම මුස්ලිම් නොවන රට තමා මෙය. මා ඊශ්‍රායල් ජාතිකයන්(යුදෙව්වන් කිව්වත් වැරදි නැහැ.) ප්‍රිය කිරීමට හේතුව තමා ඉතිහාසය පුරාවටම නොයෙකුත් ජාතීන් අතින් කෙනෙහිලිකම් වලට ලක් වෙලත් ඔවුන් තම ජාතිය වෙනුවෙන් සටන් වදිමින් අවසානයේ තමන් වෙනුවෙන්ම රටක් පිහිටුවා ගැනීම.
ඊශ්‍රායලයේ කතාවත් මහ අග මුල නැති කතාවක්ම තමා.
ඊශ්‍රායලයේ වසර 3000 කට පමන පෙර කාලයේ පටන් යුදෙව්වන් සිටි බවට සාක්ෂි තිබෙන බවයි පෙනෙන්නේ. හීබෘ බයිබලයේ පල්මු පොතේ(Book of Genesis) සඳහන් වෙන පරිදි ඒබ්‍රහම්ගේ මුනුපුරා වන ජේකොබ් ඔහුගේ නම ඊශ්‍රායල් ලෙසට වෙනස් කලා. ඔහුට පුතුන් 12ක් හිටියා. ඔවුන් "ඊශ්‍රායෙල්ගේ දරුවන් ලෙසින්" හැඳින්වූ ගෝත්‍ර 12ක් බිහි කලාලු. ඔවුන්ගෙන් සිවුවැන්නා වන ජුඩාහ්(Judah) පිහිටවපු, Kingdom of judah වලින් තමා යුදෙව්වන්ගේ ආරම්භය සිදු වන්නේ.
එතැන් පටන් ගත වූ සහස්‍රක තුනක පමණ කාලයක් තුල යුදෙව්වන් නොයෙකුත් ජාතීන් යටතේ තාඩන පීඩන වලට ලක් වුනා. ඔවුන් ජීවත් වූ ප්‍රදෙශයේන් කිහිප වරක්ම ඔවුන්ව පැන්නූ අතර, නොයෙක් වර ඔවුන්ව සමූල ඝාතනය කරනු ලැබුවා. ඇසිරියන්ලා, බැබිලෝනියන්වරු,පර්සියන්ලා, ග්‍රීක්වරුන්,රෝමානුවරුන්, කුරුස යුද්ද වලදී ක්‍රිස්තියානුවන්, ඉන් පසුව අරාබි කාරයන් මේ විදිහට යුදෙව්වන්ට පීඩන කල පිරිස්. ඇතම් පිරිස් වෙන පලාත් වලට පැන ගියා. යුරෝපයට පමණක් නොව රුසියාවට, ඉන්දියාවට සහ චීනයට පවා ඔවුන් ගිය බව කියවෙනවා. කොහොම වුනත් ඒ කිසිම තැනකින් ඔවුන්ට හරි සැලකිල්ලක් ලැබුනේ නැති බවයි පෙනෙන්නේ.
ප්‍රන්ශ විප්ලවයත් සමග නව අදහස් යුරෝපය පුරා පැතිර යාමට පටන් ගත්තා. කොන් වී සිටි යුදෙව්වන්ට සම අයිතිවාසිකම් පිලිබඳ සිහින පෙනෙන්න පටන් ගත්තා. තමන්ගේම දෙශයක් හැමදාම යුදෙව්වන් සිහින දැකි දෙයක්. විප්ලවයෙන් පසු මේ අදහස් ක්‍රියත්මක කිරීමට පිරිස් රැස් වුනා. ඔවුන් නව දේශය හැඳින්වූයේ සයෑන්(Zion) නමින්. 1897 දී පලමු සයෑන් කමිටුව තීරණය කලා යුදෙව්වන් සඳහා දේශයක් පලස්තීනය මුල කරගෙන පිහිටුවීමට. (ජේරුසුලම අවට පෙදෙසට පලස්තීනය යන නම දමා තියෙන්නේ ක්‍රි.පූ.131 පමණ, රෝමන්වරු විසිනුයි.)
ඊශ්‍රායලය බිහි වීමට බ්‍රිතාන්‍ය මගින් වූ බලපෑම අති විශාලයි. පලමු ලෝක යුද්ධය වන විට, පලස්තීනය අයිතිව තිබුනේ ඔටෝමන් අධිරාජ්‍යයටයි. මධ්‍යම බලවේගයනට විරුදුව කරන සටනේදී, බ්‍රිතාන්‍යට යුදෙව්වන්ගේ සහාය ලැබුන බවක් සඳහන්. ඔටෝමන්වරුන්ගේ පරාජයත් සමග, පලස්තීනය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතට ගැනුනා 1920 දී. මෙම පෙදෙස බ්‍රිතාන්‍ය පලස්තීන අධිකාරිය(British mandate of palestine) ලෙස හැඳින්වූවා. බ්‍රිතාන්‍ය පලස්තීන අධිකාරිය පිහිටුවීමේ එක් අරමුණක් වූයේ යුදෙව්වන් සඳහා රටක් ලබා දීම බව සඳහන්.
කෙසේ වෙතත් 1921 වන විට බ්‍රිතාන්‍ය පලස්තීන අධිකාරියෙන් 3/4 පමණ වන භූමි ප්‍රදෙශයක් මුල් කරගෙන ට්‍රාන්ස්ජොර්දාන්(transjordan) නමින් නව අරාබි රටක් පිහිටුවනු ලබනවා බ්‍රිතාන්‍යයන් විසින්. මෙම පෙදෙසට යුදෙව්වන්ට යාම තහනම් කල බවත්, පලස්තීනයට අයත්ව තිබූ ඉතාම සාරවත් පෙදෙස් මෙය බවත් සඳහන්.එනම් බ්‍රිතාන්‍යන් විසින් මුස්ලිම් වෙරුන් වෙනුවෙන් පෙදෙසක් වෙන් කර දෙනවා. අරාබි-බ්‍රිතාන්‍ය හොඳ හිත පවත්වා ගැනීම මෙහි අරමුණයි.
කෙසේ වෙතත් 1917-1948 කාලය තුල බ්‍රිතාන්‍ය පාලනය යටතේ, ලෝකයේ නොයෙක් දෙසින් යුදෙව්වන් පලස්තීනයට පැමිනෙනවා. මෙහි වැදගත් ම දෙය නම් බ්‍රිතාන්‍ය පාලනයක් නොතිබෙන්නට මුස්ලිම් වරුන් කිසි විටක මෙසේ යුදෙව්වන්ට පැමිණෙන්නට ඉඩ දෙන්නේ නැහැ. යුදෙව් සංක්‍රමණ වලට විරුදුව අරාබි වරුන් දැඩි ක්‍රියා මාර්ග ගත් බවයි, පෙනෙන්නේ. අවසානයේ, බ්‍රිතාන්‍ය පාලනයම සංක්‍රමණ නීති පනවමින් යුදෙව්වන්ගේ පැමිණීම අවම කරනවා. ඔය අතර තමයි යුදෙව්වන් විසින් බ්‍රිතන්‍යය පාලනයට විරුද්ධව සටනක් පටන් ගන්නේ.
1947 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කරනවා, පලස්තීනය කඩා වෙන් කිරීමට. ඒ සමගම පලස්තීනයේ යුදෙව්වන් සහ අරාබි ජාතිකයන් අතර සිවිල් යුද්ධයක් ඇරඹෙනවා.
කෙසේ වෙතත් 1948 මැයි 14 වන් දින අවසන් බ්‍රිතන්‍යය හමුදා ඉවත් වීමත් සමගම යුදෙව් සංවිධානය විසින් ඊශ්‍රායලය නමින් නිදහස් රටක් ප්‍රකාශයට පත් කරනවා. අවසානයේ ඊශ්‍රායලයට අයිති වූ පෙදෙස මුලු පලස්තීනයෙන්(ජෝර්ඩානයත් ඇතුලුව )6.7% වූ බවයි පැවසෙන්නේ.
මෙයට මුස්ලිම් වරුන් ප්‍රතිචාර දක්වන්නේ හරිම අපූරු විදිහකට, අවට ඇති අරාබි රටවල් පහක් (ට්‍රාන්ස්ජොර්ඩාන්,ඊජිප්ත්තුව,සිරියාව,ලෙබනනය, ඉරාකය ) පහුවදාම ඊශ්‍රායලය ආක්‍රමණය කරනු ලබනවා.